හුදෙකලාව සුන්දර යි...! (5 කොටස)

හුදෙකලාව සුන්දර යි...!
(3 කොටස )
ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි
දයාබර පින්වත් යාලුවේ,
යාලුවො නිසා අපේ ජීවිත වලට සතුට ලැබෙනවා. ඒ වගේ ම දුක ලැබුණු අවස්ථාත් ඔයාට මතක ඇති. මේ ලෝකයේ විවිධාකාර යාලුවො ඉන්නවා. හැබැයි ඒ යාලු මිත්රයින් අතරින් බුදු රජාණන් වහන්සේ අනුමත කළේ කළ්‍යාණ මිත්‍ර ඇසුර විතර යි. කළ්‍යාණ මිත්‍රය කියන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඔයාටත් මටත් කියල දීල අපිව යහමගට යොමු කරන කෙනාට යි. ඒ කෙනා අපිට අනුකම්පා කරනවා.
හැබැයි ඉතින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොන යාලුව ගැන උනත් කෙළෙස් සහගත බැඳීමක්, කෙළෙස් සහගත අනුකම්පාවක් ඇති කරගත්තොත් ඒ දේ මුල් කරගෙන අපිට උපදින්නේ දුක ම විතර යි. ඒක සනාතන ධර්මයක්. කෙළෙස් සහගත අනුකම්පාවෙන් යාලුවන්ට උදව් කරන්න යෑම නිසා දුක උපදින බව හොඳින් ම තේරුම් අරගෙන, තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවපු තවත් එක පසේ බුදු රජාණන් වහන්සේ නමක් ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. දැන් ඔයා දන්නව නෙ අපි මේ පසේ බුදු රජාණන් වහන්සේලා ගැන ඉගෙන ගන්නේ මොන සූත්‍ර දේශනාව ඇසුරින් ද කියල. ඒක මම ආයිමත් ඔයාට මතක් කරලා දෙන්නම්. ඒ සූත්‍ර දේශනාවේ නම ඛග්ගවිසාණ සූත්‍රය. අද අපි ඉගෙන ගන්නෙ ඒ සූත්‍රයේ තුන් වැනි ගාථාව.
තුන්වැනි ගාථාව
හාපේති අත්ථං පටිබද්ධචිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ
මිත්‍රයින්ට ත් සුහෘදයින්ට ත් බැඳුනු සිතින් යුතු ව අනුකම්පා කරන කෙනා, යහපත විනාශ කරගන්නවා. මිතුරුකමේ තිබෙන මෙන්න මේ බිය දකිමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.
මේ ගාථාවේ අතීත සිදුවීම:-
දයාබර යාලුවේ,
අපි මේ ඉපදිලා ඉන්න කල්පයට කියන්නේ මහා භද්‍රකල්පය කියල යි. ඔයා ඒක දන්නව නෙ නේද? එහෙම කියන්න හේතුව තමයි මේ කල්පය අසිරිමත් බුදු රජාණන් වහන්සේලා පස් නමකගෙන් ම ශෝභමාන වීම. ඉතින් මේ කල්පයේ තෙවැනි සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැටියට ලොව්තුරා බුද්ධත්වයට පත් වී වදාළේ කාශ්‍යප නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. අපි කථා කරන මේ ඛග්ගවිසාණ සූත්‍ර දේශනාවට පදනම සැකසුනේ අන්න ඒ කාශ්‍යප නම් වූ බුදු රජාණන් වහන්සේ ගේ සම්බුදු සසුන ලෝකයේ බැබලුනු ඈත අතීතයේ දී යි.
ඉතින් කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ සම්බුදු සසුන තුළ තවත් එක්තරා පින්වත් දරුවෙක් පැවිදි බිමට පත් වුනා. පැවිදි බිමට පත්වෙලා බොහෝම හොඳින් ශීලාදී ගුණ ධර්ම පූර්ණය කරගනිමින් බොහෝ කාලයක් පැවිදි සුවයෙන් කල්ගත කළා. කලුරිය කළායින් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තමන් සිදු කරගන්නට යෙදුනු කුසල කර්මයන් ගේ බලයෙන් සුගති ලෝකයක ඉපදුනා. ඒ ලෝකයේ ආයුෂ නිමා වුනායින් පස්සේ බරණැස් නුවර රජතුමා ගේ අග මෙහෙසිය ගේ කුසේ පිළිසිඳ ගත්තා. දස මාසයකට පස්සේ ලෝකය සුන්දර කරන්න පුංචි කුමාරයෙක් බිහි වුනා.
සමහර විට ඔයාට මෙතන දී පුංචි ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්.
මොකද අපි කලින් කථා කරපු පසේ බුදු රජාණන් වහන්සේලා ඉපදුනෙත් බරණැස් රජ පවුලෙ ම යි. හැබැයි ඒ එක ම බරණැස් රජතුමා නෙමෙයි. බරණැස් රජ පරපුරක්. දැන් ඔයාට තේරෙනව නෙ එක ම නම තියෙන පිය රජවරු ඇති ව උපදින්න හේතුව. ඉතින් අන්න ඒ කුමාරයා, ක්‍රමයෙන් වැඩි වියට පත් වෙලා බරණැස් නුවර රජතුමා හැටියට අභිෂේක ලැබුවා. රජකම් කළත් මේ රජතුමා හොඳින් බණ භාවනා කරලා පළමු වැනි ධ්‍යානය උපදවා ගත්තා. ශ්‍රමණ ගුණධර්ම රජකමට වඩා ඉතා උසස් බව නුවණින් තේරුම් ගත්ත මේ පින්වත් රජතුමා පසු කලෙක දී ඇමතිවරුන් හතර දෙනෙකුට තමන් ගේ රාජ්‍ය භාර දීල, මුලුමණින් ම භාවනා කරන්ට පටන් ගත්තා. හැබැයි ඇමතිවරුන්ට රාජ්‍ය භාරදුන්නේ එක පොරොන්දුවක් ඇතු ව යි. ඒ තමයි, දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය ගෙනියනවා කියන පොරොන්දුව.
නමුත් ඒ ඇමතිවරු පොරොන්දුව රැක්කේ නැහැ. නොයෙකුත් අධාර්මික කටයුතු කරන්ට පටන් ගත්තා. අල්ලස් අරගෙන හිමිකරුවන් ගේ හිමිකම් අහිමි කළා. අයිති නැති මිනිස්සුන්ට බඩු බාහිරාදිය පවරලා දුන්නා.
හුදෙකලාව සුන්දර යි...! (4 කොටස)
ඇමතිවරුත් එක ම රෑ දවාලකින් කුමරියව බරණැස් නුවරට රැගෙන ආවා. ඇය ව බාහිර නගරයේ තබපු ඇමතිවරු ‛කුමරිය ව දැන් ම මාලිගාවට කැඳවාගෙන එන්න දැ’ යි විමසා රජතුමා වෙත පණිවිඩ යැව්වා. එවිට රජතුමා කිව්වේ මෙවැනි දෙයක්.
“අද ම ඇතුළට ගෙනෙන්න එපා. මේ කුමරිය බොහොම උසස් කුලයකින් කැන්ඳගෙන ආපු කෙනෙක් නෙ. බොහොම හොඳට සත්කාර සම්මාන දක්වලා තමයි පිළිගන්න ඕනි. ඒක හින්දා උද්‍යානයේ නවත්වන්න.”
ඔවුනුත් රාජ උද්‍යානයේ ස්ථානයක් සකස් කරලා කුමරියට එහි නවාතැන් සැලැස්සුවා. මේ රජ කුමාරිය සමන් මල් දමක් වගේ අතිශයින් ම සියුමැලි යි. ඉතා දීර්ඝ දුරක් කරත්තවල ගැස්සෙමින් එක දවසකින් ම පැමිණි නිසා ඇය ඉතා වෙහෙසට වෙලයි හිටියේ. එදා රාත්‍රියේ ඇති වූ වාත රෝගයක් නිසා, මල් දමක් මිලාන වෙලා යනව වගේ මේ සුන්දර කුමාරිකාව කලුරිය කළා. ඉතින් ඇමතිවරු ත් රජ පවුලේ හැම දෙනා ම ත් නුවර වාසීනුත් මේ පිළිබඳ ව විලාප නගන්ට පටන් ගත්තා. අනිත්ථිගන්ධ කුමාරයාටත් මේ පුවත සැළ වුනා. ඒ ක්ෂණයෙන් ම කුමාරාගේ සිත මහා ශෝකයකින් යටපත් වී ගියා. ඉවසා දරාගත නො හැකි තරම් වියෝ දුකක් ඔහු ගේ හදවත පුරා පැතිර ගියා. නමුත් අනිත්ථිගන්ධ කුමාරයා කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ බුදු සසුන තුළ බොහෝ කුසල් රැස් කළ කෙනෙක්. බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ නිසා ශෝකය යටපත් කරමින් මෙහෙම සිතන්නට පටන් ගත්තා.
“මේ ශෝකය කියන්නේ නො ඉපදුනු කෙනෙකුට ඇතිවෙන දෙයක් නො වෙයි. ශෝකය ඇති වෙන්නේ ඉපදුනු කෙනෙකුට ම යි. ඉපදීම නිසා ම තමයි මේ හැම දුකක් ම ඇති වෙන්නේ. එතකොට මේ ඉපදීම ඇති වෙන්නේ කුමක් නිසා ද?”
මේ විදියට යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්ට පටන් ගත් කුමාරයාට, තමන් ගේ ම ප්‍ර ඥාවෙන් අවබෝධ වුනා, ඉපදීම ඇති වන්නේ භවය නිසා බව. මේ පිළිවෙලින් මුලු මහත් පටිච්ච සමුප්පාදයේ ම හට ගැනීමත් නැති වීමත් මේ පින්වන්ත කුමාරයාට අවබෝධ වුනා. ඒ ඔස්සේ සතර වැනි ධ්‍යානය දක්වා ම සිත ත් සමාහිත වී ගියා. තව දුරටත් පංච උපාදානස්ඛන්ධයන් ගේ ම යථාර්ථය පටිච්ච සමුප්පාදය ඔස්සේ නුවණින් විමසන විට අනිත්ථිගන්ධ කුමාරයා ගේ සිත නැවත කිසි දිනෙක ශෝකයට නො වැටෙන පරිදි ම සියලු කෙලෙසුන් ගෙන් නිදහස් වී ගියා. හිදඟෙන සිටි ආසනයේ දී ම උත්තම පසේ බුද්ධත්වයට පත් වී වදාළා.
සාදු! සාදු!! සාදු!!!
ඉතින් ඒ පසේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ශාක්ෂාත් කළ උත්තම සැපය විඳිමින් ඉතා සන්සුන් ඉඳුරන් ඇති ව සන්සුන් මනසක් ඇති ව නිසසල ව වැඩ සිටියා. පසේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය දුටු ඇමතිවරු මෙහෙම කිව්වා.
“අනේ.. දේවයන් වහන්ස දැන් ඉතින් ශෝක කරන්ට එපා. මේ දඹදිව කියන්නේ සුලුපටු තැනක් නො වෙයි නෙව. මීටත් වඩා ලස්සන කුමාරිකාවක් අපි ඉක්මණට ම කැන්ඳගෙන එන්නම්.”
එතකොට පසේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ නිවී සැනසුනු ස්වරය අවදි කළා.
“පින්වත් ඇමතිවරුනි, මම ශෝක කරන කෙනෙක් නො වෙයි. මම නිශ්ශෝකී කෙනෙක්. දැන් මම පසේ බුදු රජාණන් වහන්සේ නමක්.”
මෙහෙම දේශනා කළා ම ඇමතිවරුන් ට එය අදහා ගත නො හැකි වුනා. ඔවුන් විමසා සිටියේ පසේ බුද්ධත්වයට පත් වූයේ කෙසේ ද යන්න යි. එවිට පසේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධත්වයට පත් වූ ආකාරය පෙන්වා දුන්නා. ඉන්පසු ව සෙනෙහස නිසා දුක් ඇතිවන ආකාරයත්, කිසිවෙකුත් කෙරෙහි සෙනෙහසක් නො දක්වා කඟවේණෙකු සේ හුදෙකලාවේ දිවි ගෙවීමේ ආනිශංසත් ප්‍රකාශවෙන මේ ප්‍රීති වාක්‍ය උන්වහන්සේ ශ්‍රී මුව මඬලින් නිකුත් වී ගියා.
සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ
තේරුම සරළ ව -
ඇසුරු කිරීම නිසා / එකට වාසය කිරීම නිසා සෙනෙහස හට ගනී. ඒ සෙනෙහස නිසා ම දුක හට ගනී. සෙනෙහස නිසා දුක හට ගන්නේ ය යන මේ ආදීනවය නුවණින් සළකා බලමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවන්නේ ය.
තේරුම විස්තර වශයෙන් -
සංසග්ගජාතස්ස - එකට වාසය කරන විට / ඇසුරු කරන විට,
‛සංසග්ග’ යන පාළි වචනයේ තේරුම ඇසුරු කිරීම යි. එකට වාසය කිරීම යි. ඇසුරු
කිරීම් පහක් තිබේ. එනම්:
2. සවණ සංසග්ග - කඩ හඬ ඇසීම නිසා ඇසුර හට ගැනීම
3. කාය සංසග්ග - ස්පර්ශ කිරීම නිසා ඇසුර හට ගැනීම
4. සමුල්ලපන සංසග්ග - කථාබහ කිරීම නිසා ඇසුර හට ගැනීම
5. සම්භෝග සංසග්ග - බඩු බාහිරාදිය හුවමාරු කර ගැනීම නිසා ඇසුර හට ගැනීම.
භවන්ති ස්නේහා - සෙනෙහස හට ගනියි
ස්නේහන්වයං - සෙනෙහස අනුව යමින් / සෙනෙහස නිසා.
දුක්ඛමිදං පහෝති - මේ දුක හටගනී,
සෙනෙහස හේතුවෙන් දුක හටගන්නා ආකාරය ගැන උදාහරණ කථා -
බොහොම ඉස්සර අපේ මේ රටේ කාලදීඝ කියලා ගමක් තිබුණා. ඒ ගමේ කල්‍යාණ කියල විහාරයක් තිබුණා. මේ විහාරයේ වාසය කරපු එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතය වඩින කොට ඒ ගමේ ම හිටපු එක්තරා තරුණ ස්ත්‍රියක් මේ ස්වාමීන් වහන්සේ ව දැක්කා. ඒ ස්ත්‍රියට වගේ ම මේ ස්වාමීන් වහන්සේටත් එකිනෙකා ගැන රාගය හට ගත්තා. ඒ කියන්නේ දස්සන සංසග්ගය නිසා රාගය ඇති වුනා. කොහොම වුනත් කිසි ම උපායකින් ඒ ස්ත්‍රිය ලබා ගැනීමට අර හාමුදුරුවන්ට හැකි වුනේ නැහැ.
පසුව කිසියම් හේතුවක් නිසා ඒ ස්ත්‍රිය කළුරිය කළා. පසු අවස්ථාවක අර හාමුදුරුවන්ට ඒ ස්ත්‍රිය හැද සිටි රෙදි කඩක් දැක ගන්නට ලැබුනා. එතකොට ඒ හාමුදුරුවන්ට මෙහෙම සිතුනා.
“අනේ.. මේ වගේ ඇඳුම් ඇඳගෙන හිටපු ඒ ස්ත්‍රිය සමග එක්වන්නට ලැබුනේ නෑනේ...” මෙසේ සිතන විට ම දැඩි ශෝකයෙන් ලය පැලී ඒ භික්ෂුව කළුරිය කළා.
2. සවණ සංසග්ගයෙන් ඇති වූ සෙනෙහස නිසා දුක ඉපදුනු හැටි -
ඒ වගේ ම ඉස්සර ලංකාවේ ගිරි කියලා ගමක් තිබුණා. ඒ ගමේ වාසය කරපු රන් කරුවෙකුගේ දියණියක් තවත් කුමාරිකාවන් පස් දෙනෙක් සමඟ දිය නෑම පිණිස නෙලුම් මල් පිපී ඇති පොකුණකට ගියා. ඒ පොකුණෙන් නාලා මල් මාලා එහෙමත් පැළඳගෙන උස් හඬින් ගීත ගායනා කරමින් සිටියා. ඒ වෙලාවේ ලෞකික ධ්‍යාන උපදවාගෙන, ඒ තුළින් සෘද්ධිවිධ ඥානය ලබා ගත්ත තිස්ස කියලා එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් අහසින් යනවා. ඒ ස්වාමීන් වහන්සේ වාසය කළ විහාර ය වුනේ පඤ්චග්ගල නම් ලෙන් විහාරය යි. මේ තිස්ස හාමුදුරුවන්ට අර ගීත ශබ්දය අසන්නට ලැබුණා. ඒ ගීත ශබ්දය නිසා මේ ස්වාමීන් වහන්සේට රාගය ඇති වුනා. ඒ කියන්නේ සවණ සංසග්ගයනිසා රාගය ඇති වුනා. ධ්‍යාන සමාපත්ති සියල්ලගෙන් ම පිරිහී ගියා. ඉර්ධියත් පිරිහුණා. මහා විනාශයකට පත් වුනා. මේ වගේ සෙනෙහස නිසා දුකට පත් වූ පිරිස් ගැන නොයෙකුත් කථා අතීතයෙන් මෙන් ම වර්ථමානයෙනුත් අපට අසන්නට ලැබෙනවා.
ආදීනවං ස්නේහජං - සෙනෙහස නිසා හට ගත් මේ (දුක නම් වූ) ආදීනවය,
පෙක්ඛමානෝ - නුවණින් විමසා බලමින්,
ඒකෝ චරේ - හුදෙකලාව ම දිවි ගෙවන්නේ ය,
ඛග්ගවිසාණකප්පෝ - එක් අඟක් ඇති කඟවේණෙකු සේ.
ඉතින් අන්න ඒ විදියට මේ සුන්දර උදාන ගාථාව පළ කරපු ඒ පසේ බුදු රජාණන් වහන්සේ, අහසට පැන නැගිලා කඟ වේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවන්නට ගන්ධමාදන පර්වතය කරා වැඩම කළා. එදා ඒ පසේ බුදු රජාණන් වහන්සේ විසින් පළ කරපු උදාන ගාථාව තමයි සියල්ල දන්නා සියල්ල දක්නා අප ගේ ධර්මස්වාමී වූ භාග්‍යවත් ගෞතම සම්මා සමුබුදු රජාණන් වහන්සේ, පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියල දුන්නේ. ඒ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටු තුමා ගේ ආරාමයේ වැඩ සිටිය දී යි.
ඉතින් පින්වත් යාලුවේ,
දැන් ඔයාට තේරෙනවා නේ ද, ඇසුර නිසා සෙනෙහස හට ගන්නා ආකාරයත්, ඒ සෙනෙහස නිසා ම දුක උපදින හැටි ත්. ඇත්ත වශයෙන් ම කෙළවරක් පේන්නෙ නැති සංසාර ගමනක ඔය ත් මම ත් අපි හැමෝම ත් මේ ඇවිදගෙන යන්නේ ආදරය, සෙනෙහස වගේ ලස්සන වචන වලින් කථා බහ කරන, මෙන්න මේ රාගය දුරු කරගන්න බැරි වුනු නිසා ම යි. ඒ නිසා අපි ත් කළ යුත්තේ අනිත්ථිගන්ධ කුමාරයා වගේ සෙනෙහසේ ආදීනව තේරුම් අරගෙන හැම බන්ධනයක් ම දුරු කිරීම උදෙසා වීර්යය කිරීම යි. ඒ සඳහා ඔයාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා!
බුදු සරණ යි!
හුදෙකලාව සුන්දර යි...! (3 කොටස)

හුදෙකලාව සුන්දර යි...!
(3 කොටස )
ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි
දයාබර පින්වත් යාලුවේ,
ඒත් ඇත්තට ම හිතල බැලුවොත්, සෙනෙහස හින්ද උපදින්නේ දුකක් ම යි. ඒක ඇත්ත ම ඇත්ත කථාවක්. ඔයා මාත් එක්ක එකඟයි නෙ...?
ඉතින්, සෙනෙහස නිසා දුක උපදිනව කියන ඒ යථාර්ථය හොඳින් ම අවබෝධ කරගෙන, තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවපු තවත් එක පසේ බුදු රජාණන් වහන්සේ නමක් ගැන තමයි අද ඔයා ඉගෙන ගන්නේ. ඒ උත්තමයන් වහන්සේ ගැන අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ ඛග්ග විසාණ සූත්‍රයේ දෙවැනි ගාථාව ඇසුරින්.
දෙවැනි ගාථාව
සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ
ඇසුරු කිරීම නිසා සෙනෙහස හට ගන්නවා. සෙනෙහස නිසා දුක උපදිනවා. සෙනෙහසේ තිබෙන මේ ආදීනවය නුවණින් සළකා බලමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.
මේ ගාථාවේ අතීත සිදුවීම:-
ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ගෙවුනට පස්සේ එතැනින් චුත වෙලා බරණැස් නුවර රජකරපු රජ කෙනෙකු ගේ අගමෙහෙසිය ගේ කුසේ තමයි මේ ස්වාමීන් වහන්සේ පිළිසිඳ ගත්තේ. දස මසක් ඇවෑමෙන් පස්සේ බොහොම පින්වන්ත කුමාරයෙක් මේ ලෝකයට බිහි වුනා. මේ කුමාරයා ඉපදුනේ විශේෂ හැකියාවක් ඇතුව. ඒ තමයි පුංචි කාලෙ දි ම මේ කුමාරයාට පුලුවන් “මෙයා කාන්තාවක්, මෙයා පුරුෂයෙක්” කියලා මිනිස්සුන් ව වෙන් කරලා හඳුනා ගන්න.
බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආපු නිසා මේ කුමාරයා කාන්තාවන්ට කොහෙත් ම කැමැත්තක් දැක්වූවේ නැහැ. කිරි අම්මා වරුන් ගේ උණුසුමේ නැලැවෙන එක පවා මේ කුමාරයා ප්‍රතික්ෂේප කළා. ස්ත්‍රියක් තමන් ව ස්පර්ශ කළොත් මේ පුංචි රජ කුමාරයා හඬනවා. වඩා ගන්නවට වත් කැමති නැහැ. මේ නිසා පුරුෂයින් ම තමයි මේ පුංචි පුතා ව පෝෂණය කළේ. මෙයාට කිරි පොවන්නෙත් පුරුෂ වෙස් ගත්තු කිරි අම්මා වරුන් විසිනු යි. ස්ත්‍රියක ගේ කටහඬ ඇහුණත් මෙයා අඬනවා. ස්ත්‍රී ගන්ධයවත් ආඝ්‍රාණය වෙනවාට අකැමැති නිසා මේ දරුවා අනිත්ථිගන්ධ කුමාරයා විදියට ප්‍රසිද්ධ වුනා.
ඉතින් මේ විදියට කාලයක් ගියාට පස්සේ අනිත්ථිගන්ධ කුමාරයා තරුණ වයසට පත් වුනා. ඒ වගේ ම තමන් විසින් පෙර පුරුදු කරන ලද පළමුවැනි ධ්‍යානය උපදවාගන්නට ත් මේ කුමාරයාට පුලුවන් වුනා. තේරෙන වයසට පත් වුනත් ඔහුට ස්ත්රින් ව නම් පෙන්නන්න වත් බෑ. කුමාරයාට අවුරුදු දාසයක් වුනා ම පිය රජතුමා කුල පරපුර රැක ගැනීමේ අදහසින් විවිධ පවුල් වලින් ලස්සන ලස්සන කුමාරිකාවන් රජ මාලිගාවට ගෙන්නුවා. ඉන්පස්සේ එක්තරා ඇමතියෙකුට කිව්වා යම් කිසා උපක්‍රමයක් තුළින් මේ අය ගැන කුමාරයා ගේ සිතේ ඇල්ම ඇති කරවන්න කියල.
ඉතින් මේ ඇමතියා් මොකද කළේ, කුමාරයා ඉන්න තැනට නුදුරින් තිරවලින් වටකරපු තැනක අර ගෙන්වපු කුමාරිකාවන් ව තැබුවා. ඉන්පසු ඔවුන් ලවා ඉමිහිරි හඬින් ගීත ගායනා කෙරෙව්වා. මේ ගීත හඬ අනිත්ථිගන්ධ කුමාරයාට ඇසුනා. ඔහු ඇමතියාගෙන් මෙහෙම ඇහුවා.
“ඇමති... මොකක් ද මේ ඇහෙන සද්දේ..?”
“ස්වාමීනි ඔය නාටිකාංගනාවන් ගේ සද්දයක් නෙ... පින්වත් උදවියට ඔය වගේ නාටිකාංගනාවන් පහළ වෙනවා. ඔබ වහන්සේ මහා පුන්‍යවන්ත කෙනෙක්.” ඇමතියා උත්තර දුන්නා.
හැබැයි ඇමතිට සිද්ධ වුනේ වඳින්න ගිය දේවාලේ ඉසේ කඩාගෙන වැටුනා වගේ දෙයක්. ඇයි දන්නව ද? අනිත්ථිගන්ධ කුමාරයා, ගත්ත හොඳ පොල්ලක් අතට. ගැහුව ඇමතිට දුවනකම්ම. ඇමතිතුමත් ගුටිකාගෙන ම රජතුමා ළඟට ගිහින් සිදුවුනු සිදුවීම සැලකළා. ඉතින් රජතුමා කුමාරයා ළඟට ඇවිල්ල ඇමතිතුමා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. ඇමතියාව නැවතත් කුමාරයා ළඟ වැඩ කටයුතු වලට යෙදෙව්වා. මේ වගේ කටයුතු දිගින් දිගට ම සිදු වීම නිසා අනිත්ථි ගන්ධ කුමාරයා ගේ සිත හරි ම පීඩාවට පත්වෙලයි තිබුණේ.
මේ නිසා කුමාරයා උපක්‍රමයක් කල්පනා කළා. රන්කරුවා කැඳවලා ඔහුට රත්තරන් ලබා දුන්නා. ඒ රත්තරන් වලින් ඉතා සුන්දර ස්ත්‍රී රූපයක් නිර්මාණය කරන ලෙස අණ කළා. ඉතින් ඒ රන්කරුව ත් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා නිර්මාණය කළා වගේ, සුන්දර සුන්දර ම දිව්‍යමය රූපයක් වගේ ස්ත්‍රී රූපයක් රන්වලින් නිර්මාණය කරලා කුමාරයාට පෙන්නුවා. ඉන්පස්සේ කුමාරයා තමන් ගේ දෙමවුපියන්ට මේ රූපය පෙන්වලා මෙහෙම කිව්වා.
“මෙන්න මේ වගේ කුමාරිකාවක් ලැබෙනවා නම්, මම පිළිගන්නවා...”
එතකොට රජතුමාත් මෙහෙසියත් මේ විදියට කල්පනා කළා.
“අපේ පුතා මහා පුන්‍යවන්ත කෙනෙක් නෙව. පුතත් එක්ක ම පෙර පින් කරපු කවුරු හරි දැරියක් අනිවාර්යයෙන් ලෝකේ කොහෙ හරි ඉපදිලා ඇති.”
මෙහෙම හිතපු රජ දෙපොල ඇමති වරුන්ට කථා කළා. කථා කරලා රන් රූපය පෙන්වලා මේ වගේ කුමාරිකාවක් සොයා ගෙන එන්න කියා පිටත් කොට හැරියා. ඔවුනුත් ඒ රූපය කරත්තයක තබා ගෙන ගමක් ගමක් ගානේ ඇවිදිමින් කුමාරිකාවක් සොයන්නට පටන් ගත්තා.
මේ ඇමති කණ්ඩායම මොකද කරන්නේ මිනිස්සු එක්රැස්වෙන තැන්වල මේ දෙවඟනක් වගේ ලස්සන ස්ත්‍රී රූපය තියලා වියනක් බැඳලා පැත්කට වෙලා බලාගෙන ඉන්නවා. මේ වගේ රූපයක් තියෙන කුමාරියක් ව යම් කිසි කෙනෙක් දැකලා තියෙනවා නම්, ඒ උදවිය ඒ ගැන කථාවෙයි කියල හිතාගෙන. ඉතින් මේ විදියට මද්ද කියන රටේ හැරෙන්ට අනිකුත් සියලු ම රටවල් වල ඇවිද ඇවිද හොයල බැලුවත් කුමාරියක් ලැබුනේ නැහැ. මද්ද රට කියන්නේ පුංචි රටක් ඒ නිසා ඒ රටට ගියාට වැඩක් වෙන එකක් නැහැ කියල තමයි ඇමතිවරු කල්පනා කළේ. නමුත් ඔවුන්ට මෙහෙමත් හිතුනා.
“මද්ද රටට ගියත් මේ ටික ම තමයි. ඒත් දැන් අපි මද්ද රටට නො ගිහින් ආපහු ගියොත් රජතුමා සමහර විට අපිව ආපහු එවන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ඔන්න ඔහේ ඒ රටෙත් බලලා ම යනවා.”
මේ විදියට කල්පනා කරපු ඇමතිවරු ටික මද්ද රටේ සාගල කියන නුවරට පැමිණියා. සාගල නුවර රජකම් කළේ මද්දව කියන රජතුමා. මේ රජතුමාට අවුරුදු දාසයක් වයස දූ කුමාරියක් හිටියා. ඇය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර යි. දිව්‍යාංගනාවක් වගෙ යි.
ඉතින් එදා ඇමතිවරු ටික අර රන් රූපය සාගල නුවර එක්තරා තැනක තබල බලාගෙන හිටියා. අර රාජ කුමාරිය ගේ දාසියෝ නෑම පිණිස නාන තොටට ගිහිල්ලා ආපසු එන කොට ඈත දී ම මේ රත්තරන් රූපය දැක්කා. දැකල මේ විදියට කථා වුනා.
“අනෙ අම්මේ.. බලන්නකො අපේ ස්වාමිදුව කරල තියෙන වැඩක්.. අපි ව නාන්න පිටත්කරලා තනිය ම ම ඇවිල්ලනේ.”
මෙහෙම කථා වුනු ඔවුන් වහ වහා එතැනට ගියා. නමුත් ළං වෙලා බලපුවා ම තමන් ගේ කුමාරිය නෙමෙයි. ඒ නිසා මෙහෙම කියලා එතනින් පිටත් වුනා.
“අය්යෝ.. මේ අපේ ස්වාමිදුව නෙමෙයි නෙ. අපේ ස්වාමි දුව මීට වඩා කොච්චර ලස්සන ද?”
මේ කියපු කථාව ඇමතිවරුන්ට අසන්ට ලැබුනා. ඔවුන් මද්දව රජතුමා ළඟට ගිහිල්ලා තමන් පැමිණි කාරණය පවසලා, දූ කුමරිය ඉල්ලා සිටියා. මද්දව රජතුමා ත් ඒ යෝජනාවට කැමති වුනා. ඉන් පස්සේ ඇමතිවරු බරණැස් නුවරට පණිවිඩයක් යවලා විමසා සිටියේ ‛කුමරිය ව කැඳවාගෙන එන්නට පැමිණෙනවා ද, එහෙමත් නැත්නම් ඔවුන් ම ඇය ව කැඳවාගෙන එන්න ද?’ කියා යි. සිදු විය හැකි අපහසුකම් ගැන හිතපු බරණැස් නුවර රජතුමා ඔවුන්ට ම කුමරියව කැඳවාගෙන ඒමේ අවසරය ලබා දුන්නා. ඇමතිවරු රජකුමරිය ව කැඳවාගෙන එන ගමන් ම අනිත්ථිගන්ධ කුමාරයාට රන්රුව වැනි කුමාරිකාවක් හමුවූ බව දන්වලා පණිවිඩ යැව්වා. මේ පණිවිඩය ඇසූ සැණින් කුමාරයා ගේ සිත තුළ ධ්‍යාන සමාපත්ති බලයෙන් යටපත් කරල තිබුණු රාගය ඉස්මතුවුනා. පළමුවැනි ධ්‍යානය ද පිරිහී ගියා. ඔහු නැවත පණිවිඩ කරුවන් අත කියා යැව්වේ ඉතා ඉක්මණින් කුමරිය ව කැඳවාගෙන එන ලෙස යි.
හුදෙකලාව සුන්දර යි...! (2 කොටස)

ඉන්පස්සේ රජ තුමා ඇමතිවරුන් සියලු දෙනා ම රැස්කරවලා මෙහෙම කිව්වා. “මොහු රාජ අපරාධයක් කළ කෙනෙක්. මොහුගේ අත් කපා දමන්ටත් සුදුසු යි. පා කපා දමන්ට ත් සුදුසු යි. උලතැබීම දක්වා හැම වද බන්ධයනක් ම දෙන්නට ත් සුදුසු යි. නමුත් ඒ දෙවල් කරන්නට ගියොත් මට විහිංසාව උපදිනවා. මගේ සිල් පදයන්ට ත් හානි වෙනවා. ඒ
නිසා මොහුව මගේ රටෙන් පිටුවහල් කරන්න.”
ඉතින් රාජ පුරුෂයෝ ඔහුව අඹු දරුවන් දේපල වස්තුවත් සමඟ ම රටින් පිටුවහල් කළා. වෙනත් රටකට ගිය මේ ඇමතියා ඒ රටේ රජතුමා සමඟ බොහොම හිතවත් වුනා. දවසක් ඒ රජතුමාට මෙහෙම කිව්වා.
“මහ රජතුමනි, මම මී මැස්සො නැති මී වදයක් දැක්කා. ඒක කන කෙනෙකුත් නම් නෑ.”
රජතුමා හිතුවේ මේ විහිලු කරනවා කියලයි. ඒක නිසා ඒ කියපු එක ගණං ගත්තේ නැහැ. ඉතින් තවත් දවසක බොහොම වර්ණනා කරලා ආයෙමත් අර කථාව කිව්වා. එතකොට රජතුමා මෙහෙම ඇහුවා.
“මොකක් ද ඇමති ඔය කියන කථාව? මොකක් ද ඔය මැස්සො නැති මී වදේ?”
“රජතුමනි ඒ තමයි බරණැස් රාජ්‍යය”
”ඇමති.... ඔය නම් ඔබ හදන්නේ මාව ඝාතනය කරවන්න යි“
“අනේ රජතුමනි එහෙම කියන්න එපා. ඉතින් පිළිගන්නේ නැත්නම්, මිනිස්සු යවල බලන්නකෝ...” ඇමති පිළිතුරු දුන්නා.
රජතුමත් මොකද කළේ රාජපුරුෂයන් ව බරණැස් නුවරට පිටත් කළා. ඒ රාජ පුරුෂයෝ උමගක් හාරාගෙන රජතුමා ගේ සිරියහන් ගැබෙන් මතු වුනා. බරණැස් රජතුමා මේ මිනිසුන් ව දැකලා මෙහෙම ඇහුවා.
“උඹලා කවුද? මොකේට ද ආවේ?”
“මහරජතුමනි අපි හොරු.” ඔවුන් පිළිතුරු දුන්නා.
ඉතින් මේ සත්පුරුෂ රජතුමා මොකද කළේ, ඔවුනට ධනය ලබා දී නැවත මෙවැනි දෙයක් නො කරන ලෙස අවවාද කොට පිටත් කොට හැරියා. ඉතින් ඔවුන් ආපසු පැමිණ අර රජතුමාට විස්තරය සැළකලා. ඒ රජතුමා තව දෙතුන් වතාවක් මේ වගේ ම උපක්‍රම වලින් බරණැස් රජතුමා සිල් වත් කෙනෙක් බව ත් ප්‍රාණඝාතය නො කරණ දරුණු නැති රජකෙනෙක් බවත්
දැන ගත්තා.
ඊට පස්සේ චතුරංගිනී සේනාව පිරිවරාගෙන බරණැස් නුවර අල්ලා ගැනීමට පිටත් වී ගියා. ඒ රාජධානියේ කෙළවරක තිබුණු එක නගරයක් වට කරලා ඒ නගරය භාර ඇමතියාට මේ විදියට පණිවිඩයක් යැව්වා.
“යටත් වෙනව ද, යුද්ධ කරනව ද?”
ඒ ඇමතියා බරණැස් රජතුමාට පණිවිඩයක් යවා යුද්ධ කරන්න ද නගරය දෙන්න ද කියා විමසා සිටියා. එවිට රජතුමා කියා සිටියේ යුද්ධ නො කොට නගරය භාර දී තමන් වෙත පැමිණෙන ලෙස යි.
ඉතින් මේ විදියට බරණැස් නුවර හැර අනෙක් සියලු ම නගර අල්ලාගත් ඒ රජතුමා බරණැස් නුවරත් වටකළා. ඉතින් බරණැස් රජු ගේ ඇමති වරු බරණැස් රජතුමාට මෙහෙම කිව්වා.
“රජතුමනි දැන් නම් ඉවසුවා ඇති. අපි මොවුන් සමඟ යුද්ධ කළ යුතු යි.”
“නෑ.... යුද්ධ කරන්න බෑ. එතකොට මගේ සිල් පද කැඩෙනවා.” සිල්වත් රජතුමා පිළිතුරු දුන්නා.
“එහෙනම් රජතුමනි, අපි ඒ රජුව පණපිටින් අල්ලාගෙන මෙතෙන්ට අරන් එන්නම්” කියා බොහෝ උපාය මාර්ගවලින් ඇමතිවරු රජතුමාට කරුණු පැහැදිලි කළා.
“එහෙනම් කිසි ම සතෙුකුට කිසි ම හිංසාවක් නො කර රජු ව පමණක් පණ පිටින් අල්ලාගෙන
එන්න”
“මහරජතුමනි අපි කිසි ම හිංසාවක් කරන්නේ නෑ. භයගන්වලා එලවා දමනවා.” මෙහෙම කියපු ඇමතිවරු මහ රෑ ම කලගෙඩි ඇතුලේ පහන් දල්වාගෙන මහා චතුරංගිනී සේනාවක් පිරිවරාගෙන පිටත්ව ගියා.
සතුරු රජතුමා එදා කිසි ම බියක් සැකක් නොමැති ව තමන් ගේ සන්නාහයත් ඉවත් කරලා නිදාගෙන යි හිටියේ. බලකායත් ඒ විදිය ම යි.
ඉතින් බරණැස් රජතුමා ගේ සේනාව සතුරු රජු ගේ සේනාව වට කරලා කලගෙඩි ඇතුලෙන් පහන් එලියට අරගෙන විශාල ඝෝෂාවක් කළා. ඒ ඝෝෂාව අහපු සතුරු රජු ගේ ඇමතිවරු අවදිවුනා. බලනකොට විශාල සේනාවක් දකින්නට ලැබුණා. ඔහුන් බොහෝ සෙයින් බියට පත් වුනා. ඉක්මණින් ම තමන් ගේ රජතුමා ළඟට ගිහිල්ලා ඔහුව අවදි කළා. මෙහෙම ත් කියා ඝෝෂාකරන්නට පටන් ගත්තා.
“රජතුමනි, දැන් ඉතින් මැස්සන් නැති මී වදය කන්න” මේ කථාවට සතුරු රජු තදින් ම භයට පත් වුනා. තමන් සතුරන් අතට පත් වී ඇතැයි හිතපු රජ තුමා පසුව දා උදෙන් ම බරණැස් රජතුමා ළඟට ගිහල්ලා දෙපා වන්දනා කරලා සමාව ඉල්ලා සිටියා.
කාරුණික් සිතක් ඇති බරණැස් රජතුමා ඒ රජුට සමාව ලබා දුන්නා. ඒ වගේ ම ළඟ තිබූ රාජධානියක් ද ලබා දුන්නා. ඉතින් මේ රජවරු දෙදෙනා බොහොම හිතවත් වුනා. තමන් ගේ රාජ සේනාවත් අනිත් රජතුමා ගේ රාජ සේනාවත් එක එකතු වෙලා බොහොම සමඟියෙන් ඉන්නවා දැකපු බරණැස් රජතුමාට විශාල ප්‍රීතියක් ඇති වුනා. මේ විදියට හිතන්නට පටන් ගත්තා.
“මම මගේ හිත කියන එක ම එක දේ රැකගත් නිසා මේ මහා ජන කායේ මැස්සෙක් බොන තරමේ වත් ලේ බිඳක් වැගිරුනේ නැහැ නෙව. අනේ ඒක කොච්චර හොඳ ද? ඒක කොච්චර සතුටක් ද? සියලු ම සත්වයෝ සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා!”
මේ විදියට හිතනකොට රජතුමා ගේ සිත මෛත්‍රියෙන් පිරී ඉතිරී ගියා. හිත මෛත්‍රිය තුළ ම තැන්පත් වුනා. මෛත්‍රී ධ්‍යාන දක්වා ම සිත සමාහිත වන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඉතින් මේ සීලවන්ත ප්‍රඥාවන්ත රජතුමා ඒ මෛත්‍රිය මුල්කරගෙන එකඟ කරගත්තු සිත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නට පටන් ගත්තා. ටික වෙලාවකින්
සියලු කෙළෙසුන් නසා ගුරු උපදේශ රහිත ව ම උතුම් පසේ බුදු පදවියට පත් වී වදාළා. සාදු!
සාදු!! සාදු!!!
ඉතින් මේ සිදුවීම සිදු වුනේ රජතුමා ඇතුපිට සිටියදී ම යි. නමුත් රජතුමා ගේ චිත්ත අභ්‍යන්තරයේ සිදු වුනු මේ අසිරිමත් විපර්යාසය ඇමතිවරු දැනගත්තේ නැහැ නෙ. අන්න ඒ නිසා මෙහෙම කිව්වා. “මහරජතුමනි, දැන් යන්නට කාලය යි. දැන් ජයගත් සේනාවට සත්කාර කළ යුතු යි. පරාජය වූ සේනාවට ආහාර පාන දිය යුතු යි.”
“පින්වත්නි, මට රජතුමා යැයි කියන්නට එපා. දැන් මම පසේ බුදු රජාණන් වහන්සේ නමක්”
“රජතුමනි මොකක් ද මේ කියන්නේ? පසේ බුදුවරු මේ වගේ නැහැ නෙව.”
“එහෙනම් පසේ බුදු වරු මොන වගේ ද?”
“පසේ බුදුවරු හිසමුඬු කළ, අට පිරිකර දරාගත් පිරිසක්”
ඒ අවස්ථාවේ පසේ බුද්ධත්වයට පත් ව සිටි රජතුමා තමන් ගේ දකුණු අතින් සිය හිස පිරිමැද්දා. ඒ ක්ෂණයෙන් ම රජ ඇඳුම් සියල්ල අතුරුදහන් වී ගොස් පැවිදි ස්වභාවයට පත් වුනා. කෙස්
රුවුල් ද දෑගුලක් පමණ වන තෙක් නැතිවී ගියා. අටපිරිකර සහිතව සිටින වස් ගණනාවක් ගත වූ මහාතෙරුන් වහන්සේ නමක් ගේ ස්වභාවය පසේ බුදු රජාණන් වහ්නසේට ලැබුණා.
උන්වහන්සේ එතැන දී ම සතර වැනි ධ්‍යානයට සමවැදී අහසට පැනනැගුණා. ඉන්පසු නෙළුම් මලක් මත පළඟින් වැඩසිටියා.
එවිට ඇමතිවරුන් පැමිණ රජතුමාගෙන් අසා සිටියේ පසේ බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ කමටහන කුමක් ද කියා යි. පසේ බුදු රජාණන් වහන්සේ තමන් මෛත්‍රී භාවනාවෙන් සමථය
වඩා එම සිත විදර්ශනා කොට උතුම් සම්බෝධිය ලබා ගත් ආකාරය දේශනා කළා. ඉතින් මේ විදියට තමන් වහන්සේ පසේබුදු පදවියටපත් වූ ආකාරය පෙන්වා දුන්නාට පසු ඇමතිවරු මෙහෙම ඇසුවා.
”ස්වාමීනි, දැන් ඔබවහන්සේ වඩින්නේ කොහාට ද?” එවිට පසේ බුදු රජාණන් වහන්සේලා වැඩ සිටින්නේ කොහිදැ යි කියා සිය නුවණින් විමසා බැලූ මෙම පසේ බුදු රජාණන් වහන්සේ
මෙසේ දේශනා කළා.
“පසේ බුදු රජාණන් වහන්සේලා වැඩ සිටින්නේ ‛ගන්ධමාදන’ පර්වතයේ යි. ”
”අනේ ස්වාමීනි, අපිටත් ඔබ වහන්සේ නො මැති ව විසිය නො හැකි යි. අප ත් එනවා එහි යන්නට.”
“පින්වතුනි, පසේ බුදු රජාණන් වහන්සේලා සිය පුත්‍රයෙකුට හෝ කැමති වන්නේ නැහැ. ඉතින් ඔබලා වැනි සහායකයින් සමග සිටිනවා යන්න ගැන කවර කථා ද?”
ඉතින් මේ විදියට තමන් ගේ හුදෙකලා වාසයේ ආනිසංස සිහිපත් කළ පසේ බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී මුව මඬලින් ඒ හුදෙකලා වාසයේ සොඳුරු භාවය ගැන කියැවෙන ප්‍රීති
වාක්‍යයක් ලෙස මේ ගාථාව නිකුත් වී ගියේ නිරායාසයෙන් ම යි.
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්ත මිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
තේරුම විස්තර වශයෙන් :-
සබ්බේසු භූතේසු - සියලු ම සතුන් කෙරෙහි,
නිධාය දණ්ඩං - දඬු මුගුරු (අවි ආයුධ) බැහැර කොට,
අඤ්ඤතරම්පි තේසං - ඒ සතුන් අතිරින් එක්තරා අයෙකු හෝ (යම් කිසිවෙකු හෝ),
අවිහේඨයං - නො වෙහෙසන්නේ ය.
න පුත්ත මිච්ඡෙය්‍ය - පුත්‍රයෙකුට ද (තමන් ගේ ම හෝ) කැමති නො වන්නේ ය.
කුතෝ සහායං - සහායකයෙක් (යහලුවෙක්) කොයින් ද?
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ - තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවන්නේ ය.
සරළ අදහස :-
කිසි ම සතෙකුට දඩුමුගුරු ආදියෙන් පහර දීමක් හෝ දඩුවම් කිරීමක් හෝ සිදු කරන්නේ නැහැ. ඒ වගේ ම කිසි ම සතෙක් ව පීඩාවට පත්කරන්නෙත් නෑ. තමන් ගේ ම පුතෙකුට වුනත්
ඇල්මක් ඇති කරගන්නෙ ත් නැහැ. ඉතින් යහලුවෙක් ගැන කථාවක් කොහෙන් ද? තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.
මේ විදියට සුන්දර උදානයක් පළකරපු පසේ බුදු රජාණන් වහන්සේ මහා ජනකාය බලාගෙන සිටිය දී ම ආකාශයට පැන නැගිලා ගන්ධමාදන පර්වතයේ පහළ වී වදාළා. එදා ඒ පසේ බුදු
රජාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අප ගේ ආදරණීය ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියා දුන්නේ. බලන්න මේ බුදු සසුන
කෙතරම් අසිරිමත් ද?
ඉතින් පින්වත් යාලුවේ,
දැන් ඔයාට යන්තමින් නමුත් තේරෙනවා නේ ද පසේ බුදු රජාණන් වහන්සේලා ගේ චිත්ත සන්තානයේ ඇති පවිත්‍ර භාවය කොතරම් සුන්දර් ද කියා. සමහර විට ඔයාට හිතෙන්න පුලුවන්
මෙහෙම. මටත් පුලුවනි තනියම ඉන්න, කියල. ඒත් යාලුවේ, අපේ හිතේ තණ්හාව තිබෙනකම් අපි කිසි දිනක ද, කිසි තැනක දි තනි නෑ. මොකද අපේ දෙවෙනියා හැටියට තණ්හාව
ඉන්නවනෙ. මේ දීර්ඝ කාලයක් සංසාරේ පුරාවට අපි ඇවිදගෙන ආවේ මේ තණ්හාව කියල දෙවැනියත් එක්ක යි. අපි කායික ව හුදෙකලා වුනත්,හුදෙකලාවේ තිබෙන අසිරිය විඳින්න
ඒ තණ්හාව කියන දෙවැනියා අපිට ඉඩ දෙන්නේ නෑ.
අන්න ඒ නිසා ඒ උත්තරීතර හුදෙකලාවේ සොඳුරු අසිරිය විඳින්න නම් අපි නිකෙළෙස් වෙන්න ම ඕනි. ඒ සඳහා අපි වීරිය කරමු.
ඔයාට බුදු සරණ යි.
හුදෙකලාව සුන්දර යි...! (1 කොටස)

හුදෙකලාව සුන්දර යි...! (1 කොටස)
...ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි...
දයාබර පින්වත් යාලුවේ...
මං ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්, හැබැයි හොඳට හිතල උත්තර දෙන්න ඕනි. ජීවිතේ යම් කිසි දවසක දි ඔයාට කාත් කවුරුවත් නැති ව හුදෙකලා වෙන්න සිද්ද වුනොත්, එතකොට ඔයාට මොකක් හිතේ වි ද?
සමහර විට ඔයාට දුක හිතේවි.... ලොකු අසරණ කමකුත් දැනේවි.... එහෙම නේ ද? ඔයාට විතරක් නෙමේ, අපි අතර ජීවත් වෙන හුඟක් දෙනෙකුට එහෙම යි.
නෑ හිත මිතුරන් අහිමි වුන හින්ද, තමන් ආදරය කරන අය අහිමි වුන හින්ද හුදෙකලා වුන හිත් වලට දැනුන දුක, කවි පද වෙලා කොයි තරම් නම් ලියවිලා තියෙනව ද? ඒ පදවැල් ම ගීත බවට පත් වෙලා කොයි තරම් නම් ගායනා වෙලා තියෙනව ද?
එත් දයාබර යාලුවේ,
හුදෙකලා භාවය සුන්දර ම සුන්දර ම අත්දැකීමක් කර ගත්තු මහා ශ්‍රේෂ්ඨ පිරිසකුත් මේ මිහිතලය මත ම වැඩ සිටියා. අන්න ඒ උත්තමයන් වහන්සේලා හුදෙකලා භාවයේ තියෙන උත්තරීතර සුන්දරත්වය හදවතේ රුවාගෙන ගම් දනව් සිසාරා වැඩම කළා.
සමහර විට ඔයා කියයි, “අප්පෝ... හුදෙකලාවෙ ඉන්න එක කොහොම ද සුන්දර අත්දැකීමක් වෙන්නේ” කියල.
ඇත්තට ම හුදෙකලා භාවය අපිට දුකක් කැන්ඳගෙන එන්නේ අපේ හිතේ කෙළෙස් තියෙන නිස යි. නමුත් වීතරාගී නිකෙළෙස් උත්තමයන්ට නම් හුදෙකලාව කියන්නේ පුදුම සුන්දර දෙයක්. ඉතින් ඔයා දන්නව ද සොඳුරු හුදෙකලාවේ අසිරිය වින්ඳ ඒ නිකෙළෙස් උත්තමයන් වහ්නසේලාට කියන නම මොකක් ද කියල? උන්වහන්සේලාට තමයි පසේ බුදු රජාණන්
වහන්සේලා කියල කියන්නේ.
ධර්මය ඉගෙන ගන්න ඔයා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගැන ත් රහතන් වහන්සේලා ගැන ත් කරුණු කාරණා ගොඩක් අහල තිබුණට සමහර විට පසේ බුදු රජාණන් වහන්සේලා ගැන එච්චර විස්තර ඉගෙන ගෙන නැතුව ඇති.
මේ හදන්නේ ඒ උත්තමයන් වහ්නසේලා ගැන කරුණු ටිකක් ඔයාට කියල දෙන්න යි. මේ කරුණු ඇතුළත් වෙලා තියෙන්නෙ සුත්ත නිපාතය කියන පරම ගම්භීර දහම් ග්‍රන්ථයේ ඛග්ගවිසාණ කියන සූත්‍ර දේශනාවෙ. ඇත්තට ම කියනව නම් සුත්ත නිපාතය කියල කියන්නේ ගොඩාක් ගැඹුරු දහම් කරුණු ඇතුළත් වෙන උතුම් ග්රන්ථ රත්නයක්. සුත්ත නිපාතයේ තියෙන
එක ම එක ගාථාවක්ින් වුනත් නුවණැති කෙනෙකුට සදහම් සාගරයේ පතුලට ම කිමිදෙන්න පුලුවන්.
ඉතින් අන්න ඒ සදහම් මංජුසාවේ අඩංගුවෙන ඛග්ගවිසාණ කියන මේ සූත්‍රය හුදෙකලාවේ අනුසස් ප්‍රකාශ වන ලස්සන දේශනාවක්. මේ දේශනාව ගොඩාක් දිග යි. ගාථා හැට ගණනක් මේ දේශනාවට ඇතුළත් වෙනවා. එක එක ගාථාව ප්‍රකාශ කරපු පසේ බුදු රජාණන් වහන්සේට අදාළව සුන්දර නිදාන කථාවකුත් තියෙනවා. ඒ නිසා එක වතාවකට එක ගාථාව ගානේ නිදාන කථාවත් එක්ක ම ඔයාට කියල දෙන්න යි මේ හදන්නේ. මේ ටික එකතු කරල පුංචි පොතක්
හදා ගත්තොත් හුදෙකලා වෙච්ච වෙලාවකට ඒ හුදෙකලාවේ මිහිර විඳින්න ඔයාට ත් පුලුවන් වේවි. එය එසේ ම වේවා !
ඛග්ගවිසාණ සූත්‍රය
සූත්‍රයට කෙටි හැඳින්වීමක්
පාළි භාෂාවෙන් ඛග්ග කියලා කියන්නේ කඩුවට. විසාණ කියලා කියන්නේ අඟට. කඩුවක් වැනි අඟක් තිබෙන නිසා කඟවේණාට ඛග්ගවිසාණ කියල කියනවා. කඟවේණා කියන්නේ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණෙක් වගේ හුදෙකලාවේ හැසිරීම ගැන තමයි මේ ඛග්ගවිසාණ සූත්‍රයෙන් බුදු සමිඳුන් අපිට කියලා දෙන්නේ.
ඒ දවස්වල මගේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන අසපුවේ. එදා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්න කොට උන්වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇතිවුණා.
“අපේ බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ ජීවිත ගැනත්, තථාගත ශ්රාවකයින් වහන්සේලා ගේ ජීවිත ගැනත් ගොඩක් දහම් කරුණු කියා දීල තිබෙනවා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන කරුණු අසන්නට ලැබෙනවා අඩුයි. ඒ නිසා මම භාග්‍යවතුන් වහන්සේගෙන් පසේ බුදු රජාණන් වහන්සේලා ගැන විමසන්ට ඕනෙ”
මෙහෙම හිතපු ආනන්ද ස්වාමීන් වහන්සේ භාවනාවෙන් අනතුරුව බුදු රජාණන් වහන්සේ වෙත වැඩම කළා. ඉන්පස්සේ තමන් වහන්සේට ඇතිවුනු ප්රශ්නය භාග්‍යවතුන් වහ්නසේ ගෙන් විමසා සිටියා. අන්න ඒ වෙලාවේ තමයි කාලයෙන් වැසී තිබුණු පසේ බුදු රජාණන් වහන්සේලා ගැන මේ විස්තර බුදු මුවින් අපිට අසන්ට ලැබුනේ.
පළමු වැනි ගාථාව.
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්තමිච්ඡෙය්ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ.
හැම සතෙක් කෙරෙහි ම දඬු බැහැර කරනවා. ඒ සතුන් අතරින් කිසිවෙක් වත් වෙහෙසට පත් කරන්නෙත් නෑ. තමන් ගේ ම පුතෙකුට හෝ කැමතිවෙන්නෙත් නෑ. ඉතින් යහළුවෙකුට කැමති වෙනවා කියන එක ගැන කවර කථා ද, එක් අඟක් ඇති කඟ වේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.
පළමුවෙනි ගාථාවේ අතීත සිදු වීම.
මේ සිදු වීම සිදු වුනේ බොහෝ ම ඈත අතීතයේ. ඒ දවස්වල මේ ලෝකයට දහම් අමා වැසි වස්වමින් දෙමින් සිටියේ කාශ්‍යප කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. ඉතින් එක්තරා තරුණයෙක් කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ආරඤ්ඤිකාංගය කියන දුතාංගය සමාදන් වුනා. ඈත හුදෙකලා වනන්තර වල අවුරුදු විසි දහසක් සිල් ගුණදම් රකිමින් වාසය කරල කලුරිය කළා. කලුරිය කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉපදුනේ කාමාවචර දිව්‍ය ලෝකයක. පසු කාලයක ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බරණැස් රජතුමා ගේ අග මෙහෙසිය ගේ කුසේ පිළිසිඳ ගත්තා.
තමන් ගේ දේවිය ගැබ් ගත් බව දැනගත් බරණැස් රජතුමා ඇයට හැම සැප පහසුකමක් ම සළසා දුන්නා. ගැබ් පෙරහරකුත් පැවැත්වුවා. ඇය දසමසක් ඇවෑමෙන් රන් රුවක් වැනි සුන්දර රූපයක් ඇති පුංචි පුත් කුමරෙක් බිහිකළා. ඉතින් මේ පුංචි කුමාරයා රාජ සම්පත් භුක්ති විඳිමින් ක්‍රමයෙන් වැඩිවියට පැමිණුනා. කුමාරයාට අවුරුදු දාසයක් වෙනකොට පිය රජ තුමා මේ කුමාරයාව රජකමට පත් කළා. ඉතින් දැන් මේ කුමාරයා තමයි බරණැස් නුවර රජතුමා.
මේ රජතුමා යටතේ නගර විසිදහසක් තිබුණා. ඒ වගේ ම ඉතා විශාල ඇත් අස් සේනා, පිරිවර සේනා මේ රජකුමාරයාට උරුම වුණා. ඔහුගේ අන්තඃපුරයේ පමණක් ස්ත්‍රීන් විසිදහසක් සිටියා. මේ කුමාරයාට සැප සම්පත් වලින් අංශුමාත්‍රයක වත් අඩුවක් තිබුණේ නැහැ. නමුත් සංසාර පුරුද්දක් වශයෙන් ම මේ රජකුමරා ගේ සිත ඒ කාම සැප සම්පත්වල තදින්
ඇලුණේ නැහැ. මේ පින්වත් රජකුමාරයා රජකම කරන අතරතුර දීම සමථ භාවනාවන් දියුණු කිරීම තුළින් පංච අභිඤ්ඤාවන් (ඉද්ධිවිධඥාන, දිබ්බසෝත, පරචිත්තවිජානන, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත) වගේ ම අෂ්ඨ සමාපත්තිත් (රූප ධ්‍යාන හතර හා අරූප ධ්‍යාන හතර) උපදවා ගත්තා.
ඉතින් රජකෙනෙක් වුනාම නඩුවිසඳන්නත් ඕනි නෙ. දවසක් මේ රජතුමා නඩු විසඳන්න කියලා අධිකරණ ශාලාවට ගිහිල්ලා් රාජාසනයේ ඉඳගත්තා. නඬු විසඳගන්න ඇවිල්ලා හිටපු මිනිස්සු එතැන මහ ගෝෂාවක් ඇති කළා. ශබ්දය කියන්නේ ධ්‍යාන සමාපත්ති වලට කටුවක් වගේ කියල යි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ රජතුමා ත් ශබ්දය සමාපත්ති වලට බාධාවක් කියල දැනගෙන අධිකරණ ශාලාවෙන් නැගිටලා මතුමහල් තලයට ගියා. ගිහිල්ලා
සමාපත්තිවලට සමවදින්නට උත්සාහ කළත් පුලුවන් වුනේ නැහැ. රාජ්‍ය කටයුතු නිසා සිත විසිරිල යි තිබුනේ.
ඉතින් මේ නුවණැති රජතුමා මෙහෙම කල්පනා කළා. “රජකම ද උතුම් වෙන්නේ නැත්නම් ශ්‍රමණ ධර්ම උතුම් වෙන්නේ?”
එතකොට රජතුමාට තේරුණා රජකම කියන්නේ බොහෝ ආදීනව තිබෙන ළාමක දෙයක් කියල. නමුත් ශ්‍රමණ ධර්ම කියන්නේ බොහෝ ආනිසංස තිබෙන, මහා සැපතක් ලබා දෙන, උත්තම පුරුෂයින් ම සේවනය කරන උතුම් දෙයක් බවත් එතුමාට පැහැදිලි වුනා.
ඉතින් ඊට පස්සෙ රජතුමා ඇමතිවරුන්ට කතා කරලා දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලන කටයුතු සිදු කරන ලෙස ත් අධාර්මික කටයුතු කිසිවක් සිදු නො කරන ලෙසත් අණ කළා. එහෙම අණ කරලා තමන් ගේ මාලිගාවට ගිහිල්ලා සමාපත්ති සැපයෙන් ම කල් ගෙවන්නට පටන් ගත්තා. ආහාර පාන ආදී අවශ්‍ය දේවල් රැගෙන එන අයෙකුට මිසක් වෙන කෙනෙකුට රජතුමා ව
මුණ ගැසෙන්නට ඉඩ ලබා දුන්නෙත් නැහැ. ඉතින් මේ විදියට සති දෙකක කාලයක් ගත වුනා. ඉතින් මේ රජතුමාට අග මෙහෙසියකුත් හිටියනේ. අන්න ඒ අග බිසවට මෙහෙම හිතුන.
“මොකද මේ අපේ රජතුමා පේනෙන්න නැත්තේ. වෙනද නම්, උයනට යනව. සේනා බලන්ටත් යනව. නාට්‍ය බලන්නත් යනව. රජතුමා කොහෙ හරි ගිහිල්ලවත් ද?”
ඒ විදිවට හිතපු දේවිය ඒ ගැන විමසල බැලුව. එතකොට දැනගන්ට ලැබුණා රජතුමා එක දිගට භාවනා කරන බව. ඉතින් ඇය මොක ද දන්නව ද කළේ, එක්තරා ඇමතියෙකුට පණිවිඩයක් යැව්වා. ඒ පණිවිඩයෙන් කියවුනේ, “රජතුමා රජකම ප්‍රතික්ෂේප කළා නම්, මාවත් ප්‍රතික්ෂේප කළා වගේ තමයි. ඇවිල්ලා මාත් එක්ක වාසය කරන්න,” කියල යි.
ඉතින් මේ පණිවිඩේ අහපු ඇමතියා හොඳට ම භය වුනා. “නො ඇසිය යුතු දෙයක් නෙ මට මේ අහන්න ලැබුනෙ” කියල කණ් දෙක වහගෙන පණිවිඩේ ප්‍රතික්ෂේප කළා. දේවියත් වැඩේ අත් හැරියේ නැහැ. තව දෙපාරක් ම පණිවිඩ යැව්වා. ඒ දෙපාරම ත් ප්‍රතික්ෂේප කළා ම මේ විදියට තර්ජනය කළා.
“ඉතින් මං කියන විදියට කළේ නැත්නම්, ඔබ ව ඇමති කමිනුත් නෙරපනවා. ඔබව මරණයට හරි පත්කරනවා.”
එතකොට ඇමතිතුමා තදින් ම භය වෙලා මෙහෙම හිතුවා, “මේ කාන්තාවො කියන්නේ නම් තද අදහස් තිබෙන උදවියක්. සමහර විට මේ දේ කරන්න වුනත් බැරි නෑ”
ඉතින් ඇමතිතුමා එක දවසක් හොරෙන් ම ගිහින් දේවියත් සමඟ කාලය ගත කළා. අග මෙහෙසිය පෙර ජීවිතයේ බොහොම පින් කරපු තැනැත්තියක්. ඒ නිසා ඇගේ ශරීර ස්ඵර්ෂය බොහොම සැප දායකයි. ඇමතිය ඒ ශරීර පහසට තදින් ම ඇලුණා. ඒ නිසා නිතර නිතර ඇය හමුවෙන්නට ගියා. කල් යනකොට තමන් ගේ ම ගෙදර වගේ බිය සැක නැතිව හැසිරෙන්නට පටන් ගත්තා. මේ සිදු වීම දැකපු රාජ පුරුෂයෝ ඒ බව රජතුමාට දැනුම් දුන්නා. රජතුමා පිළිගත්තේ නැහැ. දෙවෙනි තුන්වෙනි වතාවට ත් දැනුම් දුන්නා. එතකොට රජතුමා මොක ද කළේ සැඟ වී මේ සිදු වීම බලා සිටියා. ඉතින් එය ඇත්තක් බව ඔහුට තමන් ගේ දෑසින් දැක ගන්නට ලැබුණා.









45